විදුලි හා ඉන්ධන අර්බුදයට විසඳුම් ලබා දෙන බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
මාසික පරිභෝජනය විදුලි ඒකක හැටට අඩු නිවාස වලට ජල විදුලි නිෂ්පාදන වියදමට සමාන මුදලක් යටතේ විදුලිය සැපයීමට පියවර ගැනේ. විදුලි බලාගාර ක්‍රියාත්මක වීම සහ භාවිතය සම්බන්ධයෙන් ස්වාධීන නිරීක්ෂණ ආයතනයක් ස්ථාපනය කෙරේ. ඒ යටතේ සමස්ත ක්‍රියාකාරීත්වය විධිමත්ව නිරීක්ෂණයට පියවර ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණු උපදේශක සභා සාමාජික මහාචාර්ය අනුර විජයපාල මහතා පවසයි.
ඒකක තුන්සියයට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා තමන්ට අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනයට අවශ්‍ය පහසුකම් සැලසීමටද එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර ඇත. විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රමයක් සැකසෙන අතර නිවාස වල සූර්ය පැනල භාවිතය උත්තේජනය කෙරේ. කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව අඩු මුදලක් හෝ සමාන මිලක් යටතේ කර්මාන්ත වෙනුවෙන් විදුලිය සැපයීමටද සැළසුම් කර ඇතැයි විජයපාල මහතා පෙන්වා දෙයි.
සුළං බලය භාවිතයෙන් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා ආයෝජකයන්ට අවකාශ සැලසීමද අපේක්ෂාවකි. ඉන්ධන සහ විදුලිය මත තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ බලතල පුළුල් කිරීමද කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි විජයපාල මහතා සඳහන් කරයි. මෙම සැලසුම් පළමු අදියර යටතේ ක්‍රියාවට නැංවීම එක්සත් ජනරජ පෙරමුණේ ප්රමුඛ අරමුණයි.
දෙවන අදියර යටතේ අඛණ්ඩ බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙයි. ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සැළසුම් කර ඇත. ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව වෘත්තීය මට්ටමේ කළමනාකාරීත්වයකට යටත් කරේ. සේවක වැටුප් සහ උසස්වීම්, කාර්යය ඇගැයීම් පදනමක් මත ලබාදීමට පියවර ගැනේ. ඩීසල් මිල අවම මට්ටමක පවත්වා ගැනීමද එක්සත් ජනරජ පෙරමුණෙහි ප්රමුඛ කාර්යභාරයක් බව විජයපාල මහතා සඳහන් කරයි.
මන්නාරම් ද්‍රෝණියෙහි ගෑස් නිෂ්පාදන කාර්යය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ක්‍රියාවලියක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී විජයපාල මහතා පෙන්වා දුන්නේය.