මේ වනවිට රටපුරා කතාබහට ලක්ව ඇති, මෙරට හිටපු හමුදා සෙබලුන් වංචනික ලෙස රුසියානු හා යුක්රේන හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම පිළිබඳව අද (10) දින එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදුකරන ලදී.
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති, රණවිරු පවුර සංවිධානයේ සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතාත්, රණවිරු පවුර සංවිධානයේ කැඳවුම්කරු, පක්ෂ මධ්‍යම කාරක සභික කපිතාන් ගයාන් මහතාත් සම්බන්ධ විය.
එහිදී අදහස් දැක්වූ පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වල සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මුහුණ දී ඇති බවත් එහි දිගුවක් ලෙස අද වනවිට මෙලෙස ඔවුන් වංචනික ආකාරයෙන් රුසියානු හා යුක්රේන හමුදාව වෙත යැවීමේ ක්‍රියාවලියට හසුවී ඇති බවත්ය. එමෙන්ම මෙම ආර්ථික ගැටලු හමුවේ රට තුළ සිදුවන අපරාධමය කටයුතු සඳහා ඔවුන් පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද රණවක මහතා පෙන්වා දෙයි.
“පසුගිය අවුරුදු දෙකක, තුනක කාලය තුළ වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් ආරක්ෂක සේවා හැර ගිහින් තියෙන බව. විශ්‍රාම ගිය තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. මේ පිරිස් හැම කෙනාටම සන්නද්ධ පුහුණුවක් තියෙනවා. පහුගිය දවස්වල පාතාල ලෝකයේ ඇතිවෙච්ච ඇතැම් ඝාතන වලට වෙඩික්කරු හැටියට ආරක්ෂක හමුදාවල දැනට සේවයේ නියැලිලා ඉන්න අයත් ඒ වගේම සේවයෙන් විශ්‍රාම ගිය පිරිසත්, සේවයෙන් පලා ගිය පිරිසත් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ වගේම නීති විරෝධීව මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය වගේම අනෙකුත් බඩු භාණ්ඩ ගෙන ඒම පිළිබඳ කාර්යයේදී ඇතැම් නාවික හමුදාවේ සහ හමුදාවල වැඩ කරපු අය මැදිහත් වෙන ස්වභාවය අපි දැකලා තියෙනවා. මේකම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ සම්බන්ධයෙනුත් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.”
“දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 84 දෙනෙක් මේ විදිහට යුද බිමට ගිය බව. එයින් 08 දෙනෙක් මියගිහින් තියෙන බව. කෙසේ නමුත් නිල නොවන වාර්තා පවසන්නේ මේ සංඛ්‍යාව මීට වඩා විශාලයි කියලා. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතුමයි. විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මැලේසියාවට, එහෙම නැත්නම් සිංගප්පූරුවට ගෙන ගිය අය අද වෙනකොට බුරුමයේ එහෙම නැත්නම් මියන්මාරයේ අන්තර්ජාල වංචනිකයින්ගේ කඳවුරු වල හිරකාරයෝ බවට පත්වෙලා තියෙනවා. තවත් සමහර අය විදේශ රටවල ගොවිපොළ වලට, බටහිර ලෝකයේ රටවල් වලට අරන් ගිහිල්ලා ඒවායින් පලා ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වලට අපේ පිරිස් යවන ස්වභාවයක් තියෙනවා. තාම සිදුවීම් වාර්තා වෙලා නෑ. නමුත් මේවායේ ආරක්ෂිත තත්වය පිළිබඳව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තරුණ තරුණියෝ අතරේ මේ පිළිබඳ උන්මාදයක් ඇති කරනවා වගේම ඒ අයගේ වගකීම බාරගන්න ඕනේ.”
ඉන් අනතුරුව අදහස් දැක්වූ රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පවසා සිටියේ තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා තම ජීවිතය කැප කොට යුද වැදුණු රණවිරුන් පිළිබඳව අද වනවිට රජය විසින් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි. මේ වනවිට සේවයේ නියුතු හා විශ්‍රාම ගිය නිලධාරීන් මෙලෙස වංචනිකයන් ගේ කටයුතු වලට රැවටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට ලැබෙන මාසික වේතනය ප්‍රමාණවත් නොවීම බවද ඒ මහතා පවසයි. අප රටේ ආරක්ෂක නිලධාරීන් විදේශීය සාමසාධක හමුදා වශයෙන් යැවීමේ හැකියාව තිබියදී ආරක්ෂක අමාත්‍යංශය එසේ නොකර සිටින බවත් එලෙස යැවීමෙන් එම නිලධාරීන්ට හා රටට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව පවා ඇති බව මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පෙන්වා දෙයි. ඒ අනුව මෙලෙස ගොස් අසරණ වී සිටින මෙරට හමුදා සෙබලුන් වහාම ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කලයුතු බව රණවිරු පවුර සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරන මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන රජයට අවධාරණ කරන ලදී.
ඉන් අනතුරුව අදහස් දැක්වූ කපිතාන් ගයාන් මහතා පවසා සිටියේ රණවිරුවන් හට නිසි තැනක් නොලැබීම හේතුවෙන් හා දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන බවයි. එමෙන්ම හමුදාවේ හිටපු ඉහළ නිලධාරීන් මෙම වංචනික ක්‍රියා සඳහා පෙළඹීම නිසාවෙන් තමන්ට ලැජ්ජාවක් ඇතිවන බවද ඒ මහතා අවධාරණය කරන ලදී. මේ නිසාවෙන් මෙවැනි වංචනික ක්‍රියා සොයාබලා කටුයුතු කිරීම සඳහා වහාම කමිටුවක් පත්කලයුතු බවද කපිතාන් ගයාන් මහතා පවසන ලදී.
Q&A
2012 මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ඇමති හැටියට ඒ වගේම ජාතික ආරක්ෂාව භාරව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ අමාත්‍යංශයේ ලේකම් හැටියට ඉන්නකොට තමයි ඔය කටයුත්ත සංචාරකයින් සඳහා යොදා ගත්තේ. ඒ සඳහා තෝරගත්ත ආයතනය තමයි ලංකා ආණ්ඩුවට බහුතර කොටස් තියෙන මොබිටෙල් ආයතනය. ඒ ක්‍රියාවලියේ දියුණු කෙසේ නමුත් මොබිටෙල් ආයතනය පැත්තෙන් නම් කියන්නේ සියලුම දේවල් වලට ගැලපෙන පරිද්දෙන් ඒගොල්ලෝ කාලානුරූපව මේක අප්ඩේට් කරගෙන ආවයි කියලා. නමුත් අපිට අහන්න තියෙන්නේ මොබිටෙල් ආයතනය මෙහෙම එකක් කලේ නෑ. ඒ නිසා තමයි පිටස්තර ආයතනයකට දෙන්න වුනේ කියලා. නමුත් දැනට තියෙන වාර්තා අනුව, විශේෂඥ වාර්තා අනුව ඉතාම පැහැදිලි වෙලා තියෙනවා මොබිටෙල් ආයතනය දීපු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැතුව තමයි මේ අලුත් වැඩ පිළිවෙලට ගිහිල්ලා තියෙන්නේ. මේ අලුත් වැඩපිළිවෙල මගින් රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම නීතිපතිවරයා අනුමත කළාද කියන එක. මොබිටෙල් එකත් එක්ක තිබිච්ච එක විධිමත්ව නතර කළාද කියන එක. මේ පුද්ගලික අංශයේ ආයතනයකට මෙවැනි අතිරේක මුදලක් ලබා දෙන කොට, ඒ පිළිබඳව විධිමත් පාර්ලිමේන්තු අනුමැතියක් ගත්තද කියන ප්රශ්නය එනවා. මෙවැනි ගාස්තු පිළිබඳ ගැසට් නිවේදන කලාද කියන එක. මේ හරහා කෝටි 1800 අතිරේක මුදලක් එක්කහු කරන්න යනවා විදෙස් සමාගමක්. මේ ගිවිසුම අත්සන් කිරීමේදී එක ආයතනයක් තමයි තිබිලා තියෙන්නේ. ඒකේ ප්‍රධානියා හැටියට ඉඳලා තියෙන්නේ IVS කියන ඉන්දියානු සමාගම. IVS ඉන්දියානු සමාගම, ඉන්දියාවේ පමණක් වීසා පහසුකම් සපයන තැනක්. ඒ නිසා මේ හැම පැත්තෙන්ම නොමඟ යැවීමක් සිදුවෙමින් තියෙනවා. ඩොලර් 26 කට පිටරට සමාගමකට දීම ගැන ඒ ජාතික සම්පත් ගැන කෑමොර දීපු අයගේ මීක් සද්දයක් නැහැ. හොරු අල්ලන්න ඕනා. හොරු ඇල්ලීම තමයි අපේ ආණ්ඩුවේ මූලික කාර්යභාරය කිය කිය කෑමොර දෙන කණ්ඩායමක් ඉන්නවා. ෆයිල් අරන් යන කණ්ඩායමක් මේක කරපු පොලිස් ඇමතිතුමා, ටිරාන් අලස් මහත්තයාගේ නම කියන්න බයයි. ඉතින් මේ වගේ තත්වයක් තුල අපිට පැහැදිලි වෙන්නේ, මේ රටේ ඔය වංචනික වළල්ල, දූෂිත වළල්ල, ජාවාරම්කාර පන්තිය වගේ කතා පැවැත්තුවාට අද එක්තරා ආකාරයක දේශපාලන පාතාලයකට, අපගේ පක්ෂ දේශපාලනය වැටිලා තියෙනවා. මේ පිටිපස්සේ ඉන්න ව්‍යාපාරික කොටස්ද, ඒ සියලු දෙනා පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍යයි රටට.
බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕන කරලා තියෙනවා මම දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා, පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවයි කියලා මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෙයි කියලා. එහෙම පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුව ගන්නවා නම් ඒ ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ජනාධිපතිතුමාගේ මතයට විසුරුවනවා නම් ඒක වැරදියි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එක මේ ජනාධිපතිතුමා බලයට ආවේ ආර්ථිකය ස්ථාවර කරනවා කියන පොරොන්දුව මත. ඒ නිසා ජනාධිපතිතුමාගේ පළමු කාර්ය වෙන්න ඕනේ රාජපක්ෂ පවුල ගලවා ගැනීම සඳහා වෙන මැතිවරණයක් තියෙන එක නෙවෙයි. එතුමාම අපිට කියපු පරිදි රටේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා රට ස්ථාවර කරන්න ජූනි මාසය අවසන් වීමට පෙර. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තුව විසුරුවලා රට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කළොත් ඒ පාර්ලිමේන්තුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් ආවොත් ඒ හරහා රටේ ආර්ථික අර්බුදය වැඩි වුනොත් ඒ වගේම රට නැවත වතාවක් බංකොලොත් වීමේ කඩඉමට ආවොත් ඒක ජනාධිපතිවරණයටත් නරක විදිහට බලපානවා. මැතිවරණ කොමිසම කියලා තියෙන පරිද්දෙන් සැප්තැම්බර් 17යි, ඔක්තෝබර් 17යි අතර ජනාධිපතිවරණය පවත්වන්න. සුදුසු කෙනෙක් ඒ ජනාධිපතිවරණයෙන් ජය ගනියි. ඒ ජනාධිපතිවරයා ඔහුට කැමතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ නව ජනවරම එක්ක යන්න.
ඒක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ, පවත්වන්න පුළුවන්ද? බැරිද? ඒකට මුදල් හොයාගන්නේ කොහොමද කියන එක. මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන දෙයක්.
අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා පහුගිය පෙබරවාරි 14 වෙනිදා. ඒ වැඩපිළිවෙල මත පදනම් වෙච්ච සන්ධානයක් මගින් තමයි අපි ඉදිරි මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ.
සජිත් මහත්තයාට හෝ, අනුර මහත්තයාට හෝ, රනිල් මහත්තයාට හෝ වෙනත් අයට සහයෝගය දෙන්න කියලා මේ කාටවත් හේත්තු වෙන්න යන්නේ නැහැ. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල පිළිගන්නවා නම්, ඒ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන්න, සාමූහික නායකත්වයක් ගොඩ නැගෙනවා නම්, අපේ විවෘත භාවය තියෙනවා.
අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි නායකත්වය මේ රට බංකොලොත් වීමට වගකිව යුතු බව අපි කිව්වහම ඒක දේශපාලනිකයි කිව්වා. නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ඒ නායකයින්ට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතියක් නෑ. රටේ ස්වෛරීභාවය අහෝසි කරලා තියෙන නිසා. හැබැයි ඒ පාක්ෂිකයින්ට රාජපක්ෂ පවුලේ නොවන අයට රටේ දේශපාලනය කරන්න පුළුවන්. ඔවුන්ට ඒ පිළිබඳ අයිතියක් තියෙනවා. ඔවුන් ඒ ගැන සංවිධානය වුණාට කමක් නෑ. නමුත් පරණ පාරේ ගිහිල්ලා අනාගතයක් නෑ.
මං කිව්වනේ කලින්ම බැසිල් රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආර්ථිකය බංකොලොත් වීමට වගකිවයුතු අය. ඒ වගේම තවත් වගකිවයුතු අය ඉන්නවා. ඒකත් මතක තියාගන්න. මේ රටේ ඇතිවුණේ තෙල් අර්බුදයක්. ඒ තෙල් අර්බුදය නොසැලකිල්ල නිසාද, නොහැකියාව නිසාද, කුමන්ත්‍රණයක් නිසා ඇතිවුණාද කියන එක ගැන තාම හරි පරීක්ෂණයක් කරලා නැහැ. ඒ සියලු දෙනාට මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද, තෙල් අර්බුදයක් ඇතිවෙලා විදුලි අර්බුදයක් ඇති වෙලා, මුල්‍ය අර්බුදයක් ඇති වෙලා රට මෙතෙන්ට ගිය තත්වය ගැන, අධිකරණ ක්‍රියාදාමයට අමතරව විධිමත් ආර්ථික අපරාධ යුක්ති කොමිසමක් මගින් විධිමත් අධ්‍යනයක් කරලා සියලු දෙනාටම දඬුවම් දෙන ක්‍රියාවලියක් අවශ්‍යයි.