ලංකාවේ ඊළඟ නායකයා හදන දේශපාලන සන්ධානයේ තීරක බලවේගයක් බවට එක්සත් ජනරජ පෙරමුණ පත්ව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. රට බංකොලොත් වීම සඳහා වග කිව යුතු පාර්ශවයන් පරාජය කිරීම සඳහා සියලු පාර්ශවයන් සමග ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.
ඊයේ (01) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා;
“ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි ඉතාම ආඩම්බර වෙනවා එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක විදිහට අපි මීට අවුරුදු දෙකකට විතර කලින් පැල කරපු ඒ පැළය අතු පතුර විහිදා මහා වෘක්ෂයක් බවට පත්වෙලා මේ ශාලාව අතුරු සිදුරු නැතුව පිරී යන ආකාරයේ දැවැන්ත පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. අපි ඉතාම සතුටින් කියන්නට කැමතියි ඊළඟ ලංකාවේ නායකයා හදන දේශපාලන සන්ධානයේ තීරක බලවේගයක් තමයි අපි. අපි නැතුව ඒ සන්ධානය හෝ ඒ ජනාධිපතිවරයා හැදීම පහසු වෙන්නේ නෑ.
අද අපි මේ සිටින ස්ථානයට පැමිණෙන්නට අපේ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මැතිතුමා ඒ වගේම අපේ දේශපාලන මණ්ඩලය, අපේ මධ්‍යම කාරක සභාව, අපේ ජාතික සභාව ඒ වගේම අපේ දිස්ත්‍රික් පුරා සිටින සංවිධායකවරුන්, ආසන සම්බන්ධීකාරකවරුන් දැඩි කැපවීමකින්, අප්‍රතිහත ධෛර්යයකින්, මහන්සියෙන් පසුගිය කාලයේ වැඩ කළා. මං ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් අද මේ දෙවන ජනරජ සමුළුවට පිළිගන්නවා. ඒ වගේම අපේ ස් සංවිධායකවරුන්ගේ ආරාධනයෙන් අපිට ශක්තිය දීම සඳහා, අපිට ධෛර්යය දීම සඳහා, ඔවුන් සමග මේ ලංකාවේ සෑම ප්‍රදේශයකින් ම පැමිණි ඔබ සියලු දෙනාම මම ඉතාම ආදරයෙන් පිළිගන්නවා.
අපි දන්නවා අපේ රට ඉතාමත් දුක්ඛිත තැනකට වැටිලා තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට පවුල් ලක්ෂ හැටක් පමණ තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බැරි තත්වයක ඉන්නේ. ඒ වගේම පාසල් යන ළමයින්ගෙන් ලක්ෂ හයක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. අපි දන්නවා පසුගිය විදුලි බිල වැඩි කිරීම අවස්ථාවේදී මේ රටේ පවුල්, මේ රටේ නිවාස දස ලක්ෂයකට වඩා විදුලිය විසන්ධි කිරීමට ලක් වුණා. අපි හැමෝම නැවත නැවතත් මතක් කල යුතු නැහැ. අපි අපේම හෘද සාක්ෂියෙන් ඇහුවොත් අපි දන්නවා අපේ රට මේ තත්වයට පත් කිරීම සඳහා වගකිව යුත්තෝ කවුද කියලා. ඒ නිසා අපේ දැඩි අධිෂ්ඨානයක් තියෙනවා ඊළඟට තව මාස හතරකින් එන මැතිවරණයේදී අපේ රට මේ තත්වයට පත්කළ ඒ දේශපාලන බලවේග පරාජය කිරීම සඳහා අපි පෙරමුණ ගන්නවා.
මේ රටේ ජනතාව රවට්ටලා මේ රටේ ජනතාවට එක එක රංගන පෙන්නලා නයි පෙන්නලා මේ දේශපාලකයින්ගේ සහචරයෝ වෙච්ච කණ්ඩායමක් නැවතත් බලය ඉල්ලමින් පැමිණෙනවා. ඒ සියලු දෙනාමත් පරාජය කිරීම අත්‍යවශ්‍යයි. අපි ඒ සඳහා කැපවෙනවා.
අනාගතයේ එන මැතිවරණයක් තුළ අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්මයලා ඔවුන් මේ රටට ආදරේ මිනිස්සු නෙමෙයි. ඔවුන් මේ රටේ ජනතාවගේ ධනය සූරාකන මිනිස්සු. ඔවුන්ගේ රූකඩයක් විදිහට එන ඕනෑම ජනාධිපතිවරයෙක්ට විරුද්ධව වැඩ කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි අපි මේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ කියන වැඩසටහන ඉදිරිපත් කළේ. මේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන තුළින් අපි මේ රටට, මේ රට, මේ වර්තමාන අගාධයෙන් ගොඩ ගැනීමට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා.
අතීතයේදී මේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කිව්වා. නමුත් දැන් මේ රට ඉන්දියන් සාගරයේ කඳුළු බිංදුව බවට පත්වෙලා තියෙනවා. අපි හිතනවා අපේ වගකීමක් මේ රට නැවතත් ඒ තිබුණු තත්ත්වයට පත් කිරීමට ඒ සඳහා ධෛර්ය සම්පන්නව මේ රටේ ජනතාවත් එක්ක උරෙන් උර ගැටී වැඩ කරලා ඔවුන්ව ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට ගෙන යෑමට. අසුබවාදීන්ට රටවල් හදන්න බෑ මිත් රවරුනි. වෛරය වපුරන්නන්ට රටවල් හදන්න බෑ. රටවල් හදන්න නම් වපුරන්න ඕනේ ආදරය. වෛරය වපුරන්නෝ රටවල් හදන්නේ නෑ. ජාතීන් භේදභින්න කරලා, රටවල් ගිනි ගොඩවල් බවට පත් කරනවා. ඒක නිසා මේ සියලුම පළාත්වලින් ඇවිල්ලා ඉන්න, මේ නැගෙනහිර පළාතෙන් මෙතනට ඇවිල්ලා ඉන්න කඳුකරයෙන් මෙතන්ට ඇවිල්ලා ඉන්න දකුණෙන් උතුරෙන් මහනුවරින් මෙතෙන්ට ඇවිල්ලා එන සියලුම දෙනාට අපි ආරාධනා කර සිටිනවා අපි ධෛර්ය සම්පන්නව ඊළඟ මාස හතරේදී වැඩ කරමු. අපි අපේ වැඩපිළිවෙළ කරන්න එකඟ වෙන ජනාධිපතිවරයෙක් හදමු. අපි අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න එකඟවන ආණ්ඩුවක් හදමු. ඔබ සියලු දෙනාම අද මේ පත්වෙලා ඉන්නේ දුක්ඛිත තත්වයෙන් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ සහෝදරවරුනි අපි සියලු දෙනා එක්ව අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කිරීමෙන් පමණයි.