පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එය නොසළකා, අවශ්‍ය දෙයක් සම්මත කිරීම භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයට පාර්ලිමේන්තුව සුබවාදී ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ නොමැතිව අවශ්‍ය දේ සම්මත කිරීමට උත්සාහ කිරීමෙන් අධිකරණ ක්‍රියාදාමයට ද අභියෝග එල්ල වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
එවැනි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන මග පෙන්වීම් සහ නිගමන ඵල රහිත වෙයි. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවකදී එවැනි පූර්වාදර්ශයක් සැපයීම අතිශය භයානක බව රණවක මහතා අවධාරණය කරයි. ඒ හේතුවෙන් කථානායකට එරෙහි විශ්වාස භංගය සාධාරණ බව ඔහුගේ අදහසයි. ඊට එකඟ විය හැකි ප්‍රතිපත්තිමය කරුණු පවතී. එහෙත් විශ්වාසභංගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු සාකච්ඡා කර නැතැයි හෙතෙම පෙන්වා දෙයි. කෙසේ වෙතත් මාර්ග ගත පනත වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති පීඩනය ඊට හේතු වී ඇති බව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර 28 වෙනිදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව, මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.