එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීම උදෙසා දේශපාලන මණ්ඩල සභිකයන් දිස්ත්‍රික් සංවිධාන වලට අනුයුක්ත කරන ලදී. මේ අනුව පක්ෂ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා; මාතර දිස්ත්‍රික් කළමනාකරු වන ඉංජිනේරු චන්ද්‍රසිරි තල්පේ ලියනගේ මහතාට සහාය වීම සඳහා මාතර දිස්ත්‍රික්කයට අනුයුක්ත කරන ලදී.
මාතර දිස්ත්‍රික් කමිටුව රැස්වේ
ඉන්පසුව පසුගිය මාසය තුළ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනරජ පෙරමුණේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා පෙබරවාරි මස තුළ ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබිණි. පක්ෂ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ හා මාතර දිස්ත්‍රික් කළමනාකරු වන ඉංජිනේරු චන්ද්‍රසිරි තල්පේ ලියනගේ මහතාගේ සම සභාපතිත්වයෙන් 2024.02.04 දින මාතර දිස්ත්‍රික් දේශපාලන කමිටුව ලක්ෂ්මි කොඩිතුවක්කු මහත්මිය, නිලන්ති ලියනගේ මෙනවිය හා අජිත් කටුවන්දෙනිය, අනිල් නෙත්තිකුමාර කුමාර, එච්. ඩබි. තිලකරත්න, පුණ්‍යතිලක මාරඹගේ, මහින්ද වර්ණකුමාර,ටිශාන් මධුභාෂණ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අජිත් කටුවන්දෙනිය මහතාගේ නිවසේදී පැවැත්විණි.
මෙහිදී “අපේ මාතර පදනම” නමින් භාරයක් ලියාපදිංචි කිරීමටත්, නිල්වලා ගංවතුර පාලනය සඳහා පක්ෂයේ ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක සැලැස්මක් පිළියෙළ කිරීමටත්, ගංවතුර ප්‍රශ්නයට කඩිනම් විසඳුම් සඳහා රජයේ අවධානය යොමු කරවීමට ගොවීන් සමග උද්ඝෝෂණයක් කොළඹ දී පැවැත්වීමටත් පුණ්‍යතිලක මාරඹගේ මහතා යෝජනා කළ පරිදි පසුගිය ගංවතුර අවස්ථාවල ගොවීන්ට සිදුවූ හානිවෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ගොවි රක්ෂණ මණ්ඩලය සමග කටයුතු කිරීමට හැකි පමණින් මැදිහත් වීමටත් තීරණය විය.
තවද, තරුණ ප්‍රජාව උපරිම මට්ටමින් පක්ෂයට යොමු කරවා ගැනීම සඳහා තරුණ කටයුතු ලේකම් තීක්ෂණ ගම්මන්පිල මහතා සම්බන්ධ කරගෙන ගම් මට්ටමින් රැස්වීම් පවත්වාගෙන යාමටත්, පක්ෂයේ දේශපාලන කටයුතු වෙනුවෙන් විවිධ තල සඳහා (ජාතික, පලාත් සභා, ප්‍රාදේශීය සභා) සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමටත් තීරණය විය. අනිල් නෙත්තිකුමාර මහතාගේ යෝජනාවක් මත, මාතර පල්ලිමුල්ල ආබාධිත ලමුන් සිටින නිවාසය නිරීක්ෂණය කර අපට කල හැකි සේවාවන් වෙනුවෙන් දායක වීමටද තීරනය විය. මසකට වරක් දේශපාලන කමිටු රැස්ව්ම පවත්වා ප්‍රගතිය සමාලෝචනය කිරීමටද මෙහිදී තීරණය විය.
ගොවි සංවිධාන, ගොවි නායකයන් හා විද්වතුන් මුණගැසීම
පෙර පැවති රැස්වීමේදී ගනු ලැබූ තීරණ අනුව, පෙබරවාරි 18 දින පක්ෂ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මාතර දිස්ත්‍රික් කළමනාකරු ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ, ජාතික සභා සාමාජික ගාමිණී ශාන්ත හා දිස්ත්‍රික් කමිටු සාමාජික සාමාජිකාවන්වන අනිල් නෙත්තිකුමාර කුමාර, එච්. ඩබි. තිලකරත්න, පුණ්‍යතිලක මාරඹගේ, ලක්ෂ්මි කොඩිතුවක්කු මහත්ම මහත්මීන් මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන සාමුහිකයේ සභාපති බන්දුල කෝමංගොඩ හා උපදේශක විශ්‍රාමික ගුරු ජයසේන මහත්වරුන් හමුවී පැය දෙකකට අධික කාලයක් තිස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී නිල්වලා ගංවතුර උවදුර ගැන එක්සත් ජනරජ පෙරමුණු නායක පා.ම පාඨලී චම්පික මැතිතුමාගේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ලෙස එතුමා මේ පිළිබඳව සියලු පාර්ශවයන් පාර්ශවයන් රැස්කොට ඉහල පෙලේ සාකච්චාවක් පැවැත්වූ බවත් අජිත් අමරසිංහ මහතා ගොවි නියෝජිතයන්ට පැහැදිලි කළේය. මෙයට අමතරව මේ ප්රශ්නය විසඳීමට එක්සත් ජනරජ පෙරමුණට සම්බන්ධ කෘෂි විද්‍යාඥයන් හා ඉංජිනේරුවන්ගේ සහාය ලබාදිය හැකි බව ද ඒ මහතා පැවසිය. මේ වනවිටත් මේ ප්රශ්නය ගැන හසල දැනුමක් ඇති ප්‍රාදේශිය විද්වතුන් හමුවී අදහස් හුවමාරු කරගෙන ඇති බව ද මෙහිදී විස්තර කෙරිණි. මේ ගැටලුව පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග එක්සත් ජනරජ පෙරමුණ හා එක්ව ගැනීමට ගොවි සංවිධාන නායකයන්ගේ එකඟතාවයක් ඇතිවිය. මේ රැස්වීමෙන් අනතුරුව ගැටලුවට මුල්වී ඇති නිල්වලා ගඟේ ලවණ බාධකය නිරීක්ෂණය කිරීමට රැස්ව සිටි පිරිස කටයුතු කළහ.
මාතර පල්ලිමුල්ල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නිවාසය
එදිනම අනිල් නෙත්තිකුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික් කමිටු සාමාජිකයන් මාතර පල්ලිමුල්ල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නිවාසයේ ගුරුවරුන් හා පාලක මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ නිවාසය වැඩිදියුණු කිරීමට ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කෙරිණි. එයට අමතරව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මෙහි සිටි දරුවන් කිහිපදෙනෙකු දෙමවුපියන්ගේ ඉල්ලීම මත පරික්ෂාවට ලක්කරන ලදී.
මීළඟ මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීම මාර්තු මස 02 වැනි දින පැවැත්වේ.