රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමුකොට නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අද (20) එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඒ නිසා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය කරන පොදු අවම වැඩපිළිවෙල හා එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැන මාධ්‍ය දැනුවත් කිරීමට මේ මාධ්‍ය හමුව පවත්වන ලදී.
රටේ බංකොලොත්භාවය හේතුවෙන් රටේ අඩකට වඩා කුසගින්නෙන් සිටින බවත්, ආහාර වේල් ගණන සහ ආහාර ප්‍රමාණය අඩුකොට ඇති බවත් රජය අය කරන අධික බදු හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ද ජනතාවට දරාගත නොහැකි ව ඇති බවත් විදුලි බිල අතිශයින් ඉහල ගොස් ඇති බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට දරුවන් විශාල ප්‍රමාණයක් පාසැල්වලට යවා ගන්නට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් ජල ගාස්තු ද අධික ලෙස ඉහල ගොස් ඇති බව ද විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මාධ්‍ය අමතමින් පෙන්වා දුන්නේය.
මේ රටේ ජනතාවගේ හිසෙහි ඇති ගින්න මෙන්ම හදෙහි ඇති ගින්න ද පක්ෂයක් විදියට එක්සත් ජනරජ පෙරමුණ හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා ගත යුතු පොදු අවම වැඩපිළිවෙල පෙබරවාරී 14 වැනිදා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන පක්ෂ විපක්ෂ මන්ත්‍රී සහ දේශපාලනයට සම්බන්ධ ප්‍රභූ පිරිස් මෙන්ම, විවිධ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුනු බව ද පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණ මගින් පෙන්වා දුන් පොදු අවම වැඩපිළිවෙලින් මාස කිහිපයක් තුල රටේ ජනයාගේ බඩගිනි දුක, විදුලි බිල පිළිබඳ දුක, ජල බිල පිළිබඳ දුක, නැතිකොට රටේත් ජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලවලක් සාකච්ඡා කරන බව ද වැඩිදුරටත් දන්වා සිටියේය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුනත් මූලිකවම කළ යුතු ක්‍රියාමාර්ග ගැන එක්සත් ජනරජ පෙරමුණ විසින් එළිදැක්වූ පොදු අවම වැඩපිළිවෙලෙන් පෙන්වා දෙන බව එම මාධ්‍ය හමුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
බොහෝ දෙනෙක් ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන බලය ලබාදෙන ලෙස ජනතාවට පවසමින් විරුද්ධ දේශපාලන මත දරන්නන් විවේචනය කරමින් මහජන කෝපය අවුස්සමින් කටයුතු කළ ද රට සහ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමීමට අවශ්‍ය කරන වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරන බව ද, කරු පරණවිතාන මහතා මාධ්‍ය අමතමින් පැවසීය.
අවුරුදු තුනක් ඇතුළත රට සහ ජනතාව පෙළෙන පීඩාවන්ගෙන් මුදාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය හෝ වෙනත් පක්ෂයක් සතුරු කරගෙන එක්සත් ජනරජ පෙරමුණ දේශපාලනය නොකරන බව ද එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.
රටේ තිබෙන ප්‍රධාන අභියෝගය ආර්ථික බංකොලොත්භාවය සහ දේශපාලන පරිපාලන තන්ත්රය කඩාගෙන වැටීම නිසා සෙසු පක්ෂ සතුරෙක් යැයි සිතා පිල් බෙදී කටයුතු කිරීම නොවන බවද ඒ මහතා මාධ්‍ය හමුව අමතමින් වැඩි දුරටත් පැවසීය.
රටට අවශ්‍ය කරනුයේ වැඩ පිළිවෙලක් මිස අපේක්ෂකයන්ගේ නම් නොවන බවත් නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මූලික කොටගෙන එයට ජනවරමක් ලබා ගෙන එය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා පැවසීය.
ඒ සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සමග නුදුරේම සාකච්ඡා පවත්වන බවත් ඉන් අනතුරුව සෙසු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වා ඝෝෂා ගැටුම්කාරී, චෝදනාකාරී, දේශපාලන සංස්කෘතිය වෙනුවට, නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයක් විදියට කටයුතු කරන බවද එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතා පැවසීය.
රට සහ ජනතාව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් රටේ අභියෝගය භාරගන්න පුළුවන්, අභියෝග වලට මුහුණ දිය හැකි, ජනතාව විශ්වාස කරන, ජනතාව ආදරය කරන, නිර්භීත, කෙලින් වැඩකරන, කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයෙක්ව ජනාධිපති අපේක්ෂකයෙක් විදියට අපිට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයිද ඒ මහතා මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.
දැනට ජනාධිපති අපේක්ෂකයින් ලෙස සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක සහ දිලිත් ජයවීර මහත්වරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇති බවත් පක්ෂ දේශපාලනය එසේ හෙයින් එයට වරදක් කිව නොහැකි බව සඳහන් කළ කරු පරණවිතාන මහතා පක්ෂ දේශපාලනයෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව අවධාරණය කළේය.
රටට දැනට අයකර ගත හැකි එහෙත් අහිමි කරගෙන ඇති ආදායම් ගැන එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධුර දරමින් ඉටු කළද මේවනවිට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පාර්ලිමේන්තු කාරක සභා වලින් ඉවත් කොට ඒවාට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාලක ගොඩහේවා මහතා පත්කොට ඇති බව ද ප්‍රකාශ කළේය.
රටට අවශ්‍ය පොදු අවම වැඩපිළිවෙල ඉදිරිපත් කරන දිනයේ දී රට ආර්ථික අගාධයකට සෘජුව වගකිව යුතු රාජපක්ෂවරුන් ප්රමුඛ පිරිසට හැර, සෙසු සියලුදෙනාට ආරාධනා කළ බවත් ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කළ බවද ඉදිරියේදී ඔවුන් සමගද මෙම පොදු අවම වැඩපිළිවෙල ගැන සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් ද විමසීමට කටයුතු කරන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් කරු පරණවිතාන මහතා පැවසීය.