ජනතාවගේ කුසගිනි නිවීම සඳහා කෙටි හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාවට නංවන බව එක්සත් ජනරජ පෙරමුණ සඳහන් කරයි. සඳහා ක්‍රියාමාර්ග රැසක් හඳුනාගෙන ඇති බව පෙරමුණෙහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. ආහාර ද්‍රව්‍ය ආශ්රිත බදු සහ අමුද්‍රව්‍ය මිල අඩු කෙරේ. ප්‍රවාහනය සඳහා ප්රමුඛ සාධකයක් වන ඉන්ධන මිල ද ඊට සමගාමීව අඩු කිරීම අපේක්ෂාවයි. අතරමැදියන් වැඩි ලාභ ඉපයීම පාලනය කෙරෙන අතර නිෂ්පාදන නාස්තිය අවම කිරීමට ද සැලසුම් සකසා තිබේ. මිල පාලන ක්‍රමවේදයක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව අමරසිංහ මහතා කියා සිටී.
නිෂ්පාදනය වැඩි කිරීම සඳහා නවීන ක්‍රමවේද භාවිතය උත්තේජනයද එක්සත් ජනරජ පෙරමුණෙහි ප්රතිපත්තියකි. ආහාර ද්‍රව්‍ය ආශ්රිත මිල පාලනය සඳහා ඩිජිටල් ක්‍රමවේද සැකසීමටද තීරණය කර ඇත. මිල නියාමන නීති හඳුන්වාදීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බව අමරසිංහ මහතා අවධාරණය කරයි. පලිබෝධ හා පසු අස්වනු හානි වැළැක්වීමට පියවර ගැනේ. ආහාර ගබඩා කිරීම හා සංරක්ෂණය විධිමත් කිරීමද අපේක්ෂාවකි. දියුණු තාක්ෂණික ක්‍රමවේද ඊට භාවිත කෙරේ. ඩිජිටල් දත්ත පද්ධති නිර්මාණය කිරීමද ප්රමුඛ සැලසුමක් බව අමරසිංහ මහතා කියාසිටියේ, රට සංවර්ධනය කිරීම සඳහා වූ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය.
ඖෂධ ආශ්රිත අර්බුදය සම්බන්ධයෙන් ද එක්සත් ජනරජ පෙරමුණ අවධානය යොමු කරයි. ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අවම කිරීමට ඒ යටතේ පියවර ගැනේ. නියාමනය ශක්තිමත් කර ඖෂධවල ගුණාත්මක භාවය සහතික කිරීමද අපේක්ෂාවක් බව අමරසිංහ මහතා පවසයි. ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගනිමින් රට තුළ ඖෂධ නිෂ්පාදනය උත්තේජනය කිරීම ද පෙරමුණේ අරමුණකි. සාධාරණ මිල ක්‍රමයක් ඇතිකිරීමට ද එය පිටිවහලක් වෙතැයි අමරසිංහ මහතා විශ්වාස කරයි. සෞඛ්‍ය සේවා පුළුල් කිරීමේ නව ක්‍රමවේද හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.