රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ ලබන දා හතරවනදා ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රාජ්‍ය ආදායම අඩුවී තිබේ. වසර තුනක් ඇතුළත රාජ්‍ය ආදායම දෙගුණයක් කිරීමේ සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ යටතේ සැකසෙයි. එහෙත් බදු වැඩි කිරීමේ කිසිදු සැලසුමක් නැත. ආර්ථිකය ශක්තිමත් කිරීම සමග ඊ – රුපියලක් වෙත රට රැගෙන යාමට ද අපේක්ෂා කෙරේ. රාජ්‍ය ආදායම වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමද එක්සත් ජනරජ පෙරමුණේ ප්රතිපත්තියයි.
රට සංවර්ධනය සඳහා විද්‍යාත්මක කළමනාකරණයක් අවශ්‍ය වෙයි. එම වැඩ පිළිවෙළ ක් හඳුන්වාදීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බව රණවක මහතා කියයි. එය දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ව්‍යාපාරිකයන්ට සහ වෘත්තීයවේදීන්ටද, ජනතාවටද ඉදිරිපත් කිරීම අපේක්ෂාවයි, ඒ යටතේ නව බලගතු දේශපාලන සන්ධානයක් ස්ථාපනයට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. ඉදිරි ජනාධිපතිවරණයට ද යම් ආකාරයකින් මහ මැතිවරණයක් අප්‍රේල් මාසයේදී පැවැත්වුවහොත් ඊට ද එක්සත් ජනරජ පෙරමුණ ප්රමුඛ සන්ධානය සූදානම් වෙයි. රටට අවශ්‍ය නව ප්රවේශයකින් ගැටලු විසඳීමට එම සන්ධානයට හැකිවන බව රණවක මහතා පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ නායකයෙකු සහිත විසඳුම් ඔවුන්ට ඇති බවයි. සමගි ජන බලවේගය ද රටට අවශ්‍ය විසඳුම් වෙත ඇති බව සඳහන් කරයි. එහෙත් එක්සත් ජනරජ පෙරමුණ විශ්වසනීය ස්ථාවර වැඩපිළිවෙලක් රට සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. එම වැඩපිළිවෙළ මත පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීම අපේක්ෂාවයි. එහිදී වෙනත් දේශපාලන පක්ෂ මෙන් නායකයන් මත පදනම් වීමක් සිදු නොවන අතර විධිමත්, ස්ථාවර, ශක්තිමත් වැඩපිළිවෙලක් වටා නායකයන් එකතු කරමින් රට ගැටලුවලින් මුදාගැනීම ප්රමුඛ අපේක්ෂාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
සෑම දේශපාලන පක්ෂයකම අවංක, පිරිසිදු දේශපාලනඥයෝ සිටිති. එහෙත් පක්ෂ ප්‍රතිපත්ති මත ඔවුන්ට ගැටලු මතුව තිබේ. එක්සත් ජනරජ පෙරමුණ ප්රමුඛව සකසන පුළුල් දේශපාලන සන්ධානය එවැනි දේශපාලකයන්ට රටට හිතවාදි ක්‍රියාවලියකට ප්‍රවේශ වීමට සුදුසු වේදිකාවක් බවට පත්වනු ඇතැයි රණවක මහතා සඳහන් කළේ අතුරුගිරියේ පැවති ජනහමුවක දීය.