දේශීය නිෂ්පාදනවලින් සමන්විත ආහාර වේලක් පාසල් දරුවන් වෙත නොමිලයේ ලබාදීමට එක්සත් ජනරජ පෙරමුණ සැලසුම් කරයි. ළමුන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට එය පිටිවහලක් වන බව පෙරමුණෙහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මහතා පෙන්වා දෙයි.
සුබසාධන ක්‍රියාවලිය සඳහා රජය අතිවිශාල මුදලක් වාර්ෂිකව වෙන් කරයි. ඒ යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ සහ අතිරේක පොත්පත් මිලදී ගැනීම සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබේ. සියලු පාසැල් වලට උපරිම සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදු පානීය ජලය සමාන ලෙස සැපයීමට ද පියවර ගන්නා බව මහලියනාරච්චි මහතා පෙන්වා දෙයි.
පාසල් අධ්‍යාපනයෙහි ගුණාත්මක භාවය වර්ධනය සඳහා ඉහල සුදුසුකම් සහිත පුද්ගලයන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සැලසුම් කර ඇත. ඔවුන් වෙනුවෙන් ආකර්ෂණීය වැටුප් ලබා දීමට ද අපේක්ෂිතයි. දැනට සේවයෙහි නියුතු ගුරුවරුන් සඳහා උපාධි සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදීම ද එක්සත් ජනරජ පෙරමුණෙහි සැලසුමකි.
පශ්චාත් උපාධි අවස්ථා ද නිර්මාණය කෙරෙන අතර, ගෞරවණීය සම වැටුප්තලවල පිහිටුවීමට ද යෝජනා කෙරේ. අධ්‍යාපන වියදම් අනාගත ආයෝජනයක් බව එක්සත් ජනරජ පෙරමුණේ අදහසයි. කටපාඩම් ක්‍රමය වෙනුවට නිර්මාණාත්මක අනාගත පරපුරක් සඳහා වූ අධ්‍යාපන හා විභාග ක්‍රමයක් සැකසෙයි. සියලු පාසල්වල භෞතික තත්ත්ව සංවර්ධනය කෙරෙන අතර ද්වි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනයට ද පියවර ගැනේ.
ලංකාවේ පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල දාහතෙහි ආචාර්යවරුන්ගේ හිඟය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජනරජ පෙරමුණ පියවර ගන්නා බව ලියනාරච්චි මහතා පෙන්වා දෙයි. විශ්ව විද්‍යාලවල භෞතික පහසුකම් සහ නේවාසිකාගාර ආශ්රිත තත්ත්ව ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කළ යුතුය. ඒ සඳහා ආචාර්ය මහාචාර්යවරුන් සමග සාකච්ඡා කරමින් සැලසුම් සකස් කිරීම අපේක්ෂාවයි. පරිපාලන කුසලතා සහිත මහාචාර්යවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් ලෙස පත්කිරීමට ද යෝජනා කරන බව හෙතෙම සඳහන් කරයි.
ජාත්‍යන්තර විද්‍යාත්මක ක්‍රමවේද එහිදී යොදාගැනීම අරමුණකි. විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව තාක්ෂණ නගර බිහිකර, නව ප්‍රවේශයක් මගින් රට සංවර්ධනය කිරීම ද එක්සත් ජනරජ පෙරමුණේ සැළසුමක් බව රෝහණ මහලියනාරච්චි මහතා, රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී සඳහන් කළේය.